එදා පායා තිබුණේ අඩ සඳකි. ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන්ය. කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟේ පවා තැවරී තිබුණි. ළා සඳ එළිය අඳුරෙහි සැඟව ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය. සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතග ඇඟිලි තුඩු රිද්මයකට අනුව මිටියාවතත් කඳුවැටි වන ළැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක් ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවී යද්දි ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමන් තිබුණේ මහා ළෙන්ගතු කමකි. පසුදා හිරු පායන විට ඒ ළෙන්ගතුකම සිය ජීවිතයේ සියලු අහු මුලු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.
book-author | |
---|---|
format |