‘දුප්පතුන් දෙවියන් වහන්සේ තමන්ට උරුම කර දුන් දුක්ඛිත ජීවිතය පිළිබඳ මැසිවිලි නොකියා ස්තුති කරන්නේ මන්දැ’යි සොෆියා, ඉලංගකෝන් ආර්‍යාවගෙන් එම අළු බදාදාවේදීත් අසා තිබිණ.
පුරාකථාමය පැහැදිලි කිරීම්වලට අනුව මුළු ලෝකයම කතෝලික කිරීමේ අදහසින් පරංගීන් හා ස්පාඤ්ඤකාරයන් කඩුව එක් අතකිනුත්, බයිබලය අනෙක් අතෙනුත් රැගෙන නැංගුරම් ලෑ බවත්, සටන් කොට යටත් කරගත් රාජ්‍යවල ධනය කොල්ලකා අලුතින් දුප්පත් වූ ජනතාව අත බයිබලය තබා ‘දිළින්දන් ආශීර්වාදලත් අය බවත්, මෙලොව සැප අහිමිවීම වෙනුවෙන් ඔවුන්ට වන්දි වශයෙන් ස්වර්ගය උරුම වනු ඇති බවත්’ කීවේ යැයි ඇයට කිව්වේ ඉයු – ඩැඩා මාමාය.
ඉලංගකෝන් ආර්‍යාවගේ පැත්තෙන් එය ඇයට සදාකාලික නොවිසඳෙන – අවැදගත් ගැටලුවලින් තවත් එකක් පමණි.