ලා සඳ එළිය අඳුරෙහි ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාවී ගිය වලාකුළු අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටියේය. සිතිවිලි වලට පියාපත් ලැබී තිබුණු අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවටි වනලැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උනුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ලෙන්ගතුකමකි. පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතුකම සිය ජීවිතයේ සියළු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.
සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.