” මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණේ.”
“ඒ වගක් හාමුදුරුවොත් දන්නවා එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවේ නැත්තම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මාරා දාන්න ඇත්තේ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නේ.”
“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”
“මේකිට මා අතින් මොනවා වෙයි ද දන්නේ නෑ.”
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. ” අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි ! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”